අපේ වෙසක්
බුදුදහමේ හරය හේතුඵල දහමයි.මෙම අති උතුම් න්‍යායය තේරුම් ගැනීමේදී ත්‍රිලක්ෂණ ධර්මතාවය අත්‍යාවශ්‍යය. මන්ද යත් ජීව අජීව සමස්තය තුලම පවතින යථාර්තය මෙය බැවිණි.කිනම් දර්ශනයක් විශ්වාස කල ද ලෝක යථාර්තය මීට වඩා වෙනස් නොවේ.එබැවින් තවත් උතුම් වෛශාඛ්‍ය මංගල්‍යයක් සමරන්නට සැරසෙන මේ මොහොතේ බුදුදහම පරිසරය සහ ආමිස ප්‍රතිපත්ති පූජා ගැන සබුද්ධියෙන් යුතුව බැලීම මනුශ්‍ය වර්ගයා වන අපගේ මාහැගි කාර්‍යයක් වන්නේය.බුදුන් වහන්සේ තරම් පරිසරය සමග සබැදිව ජීවත් වූ වෙනත් ශාස්තෲවරයෙකු ලොව නොමති තරම් ය. උන්වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය ස්වභාවික රමණීය පරිසර ඇසුරේම සිදුවී තිබේ.එහෙයින් පාරිසරික සංහිදියාව පවත්වා ගනීම උදෙසා මිනිසාගෙ දායකත්වය අවැසිමය.මෙලෙස පූර්විකා සැපවූයේ අන් කවරකටත් නොව උතුම් වූ වෙසක් දිනය අරුත් ගන්වමින් සොබාදහම් සබැදියාව ශක්තිමත් කරගනු වස් බෞද්ධ අබෞද්ධ සැවොම සිදු කරනු ලබන ආමිස පූජාවක් පිලිබදව දැනුවත් කිරීමටයි.
කාර්මික විප්ලවයෙන් පසු බිහිවූ නූතන යුගය සැබවින්ම තරගකාරීය.වැඩ පහසු කරන මං ඔස්සේ හැල්මේ දිව යන ලෝකයක් තුල අපිද අතරමං වී ඇත්තෙමු.ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සංකල්පයද ඒ තරගය තුල අතරමං නොවී ජයග්‍රහණයන් පරාජයන් ලබමින් ගෝලීය මාතෘකා මවමින් සිටින්නේය.ඉදින් මෙවන් මහා මංගල්‍යයක් සමරන මේ මොහොතේත් ජයග්‍රාහී ලීලාවකින් අපගේ ආමිස පූජාවන් තුලත් මෙය කරලියට පැමිණ ඇති සෙයකි . “පරිසරය මිනිසා කෙරෙහි දක්වන අප්‍රමාණ සෙනෙහස හා සුන්දරත්වය වටහා ගන්නා කවර තරාතිරමක අයකු වුවද එයට අප්‍රමාණ භක්තියෙන් ගෞරව කරනු නොඅනුමානය” යන බව බුද්ධ දේශනාවයි.ඉතින් නොදිරනා පොලිතීන් ප්ලාස්ටික් වෙසක් සැරසිලි කුමකට දැයි ඔබ මදක්ල් සිතුවාද?
අපේ අඛණ්ඩ ඉතිහාස කතාව සදහන් වන මහා වංශයට අනුව දුටුගැමුණු රජුගේ සිටම සෑම රජ කෙනෙකුම වෙසක් උත්සවය පවත්වා ඇත. “ මහා වේශාඛ පූජා” යනුවෙන් එකල හැදින්වූ එය මහා මංගල්‍යයක් වුවද සරල සැහැල්ලු දිවි පෙවෙතෙහි අරුත වටහා ගෙන ශ්‍රීලාංකික ජනීජනයා එය සැමරීමට වගබලා ගත් හ.එකල ඔවුන් උණ බට ලීයෙන් හඩැති ගොක්කොල රටා දම්මින් කූඩු තැනුවෝය.නූතනයේ එය උණබට ලී/ සව් කොල සුසංයෝගයෙන් කරලියට ආවේය.තිලකුණු වල හරය වටහා ගනිමින් දැල් වූ පහන් කූඩු,මද පවනට ලෙල දෙමින් දැවී අලු වී යන සිද්ධි දාමය තුල තම ජීවිතයේ සැබෑ අරුත ඔවුන් අවබෝධ කරගත්තේය. නූතන වැසියා තුල එම අවබෝධය නැතුවාම නොවේ.නමුත් ආමිස පූජාවේ ආනිසංසය කුමක් වුවද ඔවුනොවුන්ගේ කාර්‍ය බහුලත්වය තරගකාරීත්වය නිසාවෙන් අඩුමිලට මෙරටට ගෙන්වන පරිසරයට හානිදායක පොලිතින් ප්ලාස්ටික් කූඩු සැරසිලි මේ වෙසක් සමය තුල දුසිම් ගණන් ගෙදර ගෙනියන උගත් බොදුනුවන් අපි දැක ඇත්තෙමු.එහෙයින් නිසැකවම මේ පැමිණ ඇත්තේ සිතන්නට,වෙනස් වන්නට කාලයයි.මහා පරිමාණයෙන් වෙසක් භාණ්ඩ සැරසිලි ආනයනය කරන කිසිවෙක් බෞද්ධයන් නොවේ.එබැවින් ඔවුනට බොදුනු ගුණාංග ආරක්ශා කිරීමෙහි ලා වගකීමක් ද නොවේ.නමුත් මානව වර්ගයා වශයෙන් ලෝකය සොබාදහම වෙනුවෙන් සේවය කිරීමට ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුය තවම ප්‍රමාද නැත.ඉතිහාසයක් පුරා සංවර්ධනය වූ උත්තරීතර සංස්තික ලක්ශණයන් සහිත,ඉතිහාසය්ක් පුරා පැවති වෙසක් පුරාණය ඉදිරියටත් ආරක්ශා කරගනිමින් පවත්වා ගෙන යාමට කවුරුත් බුද්ධිමත්ව ක්‍රියා කර යුතුය.
ඉතින් නොදිරනා ප්ලාස්ටික් පොලීතීන් කූඩුවක් දල්වා අනිත්‍ය මෙනෙහි කර කුමකටද? බුදුදහම තුලින් ලෝකය දැක සොබාදහම් සබැදියාව පවත්වා ගන්නට නම් මෙවර අපගේ ආමිස පූජා පිලිවෙත් වෙනස් කරමු.පෙළගැසෙමු.පොලිතීන් ප්ලාස්ටික් වලින් තොර පින්බර වෙසක් මංගල්‍යයක් උදෙසා ප්‍රතිඥා දෙමු.
සටහන - දුවේන්ද්‍රා සමුර්ධි දිසානායක
Comments
Post a Comment