සළුපිලි මත නේක වර්ණ හැඩ මවනා බතික් කලාව
සළුපිලි මත නේක වර්ණ හැඩ මවනා බතික් කලාව
ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයට එදා කපු ආශ්‍රිත රෙදි විවීමේ සිට අද වර්තමානය දක්වා ඉතා දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. ඒ අතුරින් බතික් කලාව මෙරට රෙදි කර්මාන්තය තුළ ඉතා වැදගත්, සුවිශේෂී අංගයකි. ලංකාවට පමණක් සීමා නොවූ මෙම බතික් කලාව ඉටි භාවිතා කරමින් සළුපිලි මත වර්ණ රටා මවන ලොව පතල අපූරු කලාවක් ලෙස දැක්විය හැකිය.
ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ඉපැරණි බතික් කලාව ඊජිප්තුවෙන් ඇරඹී ඇති බවත් පසුව පර්සියානු සහ මිසර වැසියන් කැඳ සහ ඉටි බිංදු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් බවත් සඳහන් වෙයි. මීට අමතරව චීනය, ඉන්දුනීසියාව, ජපානය සහ මැලේසියාව යන රටවල වැසියන්ද බතික් නිර්මාණයේ යෙදුණු බවට සාක්ෂි හමුවී ඇත. කෙසේ වුවත් 2009 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් ඉපැරණි, නොදියුණු යුගයෙන් බිහිවූ බතික් කලාව ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කර ඇත.
ශ්‍රී ලංකාවට බතික් කලාව ලැබීම, හදුන්වා දීම සම්බන්ධ විවිධ ඉතිහාස කතා ඇති අතර එහිදී ලන්දේසීන් විසින් මෙරටට බතික් කලාව ගෙන ආ බව ද කියැවේ. කෙසේ වුවත් ලාංකික වැසියන්ට ඕනෑම කලාවකට තම දේශීයත්වය මුහු කිරීමට ඇති හැකියාව නිසා අපේ නිර්මාණකරුවෝ දේශීය සංස්කෘතිය හා බැඳුනු දෑ ඔප්නංවන විචිත්‍ර මෝස්තර බතික් කලාවට එක්කර ඇත. ඒ නිසාම වර්තමානයේ ලංකාවේ බතික් කලාව ලොව පුරා ප්‍රචලිත වී ඇති අතර එය මෙරට තුළ ආවේණික වූ රෙදිපිළි කලාවක් ලෙසද වර්ධනය වී ඇත.
බතික් කර්මාන්තය තුල සිදුවන්නේ ඉටි වර්ග එනම් පැරපින් ඉටි සහ මී ඉටි භාවිතා කර කපු රෙදි මත මෝස්තර නිර්මාණය සිදුකිරීමයි. මෙහිදී බතික් නිර්මාණකරුවෝ රටදුම්මල සමග පැරපින් ඉටි සහ මී ඉටි උණුකර කපු රෙදි මත ටූල්, පුනීල සහ පින්සල් යන උපකරණ භාවිතා කර තෝරාගත් මෝස්තර නිර්මාණය කරති. අපි මෙම බතික් කලාව යන්න සරල නිර්මාණ ක්‍රියාවලියක් ලෙස දුටුවත් ඒ තුළ ගැබ් වී ඇති ක්‍රියාවලිය ඉතාමත් කටුක සහ දුෂ්කර ය. බතික් නිර්මාණකරුවන් මිනිසා වෙත සාර්ථක නිර්මාණයක් ලබාදීම සඳහා මහත් උත්සාහයක් දරන බව ඔවුන්ගේ නිර්මාණ තුළ දැකිය හැකිය. එබැවින් ඔවුන් සහ ඔවුන්ගේ විචිත්‍ර නිර්මාණ ඇගයීම සහ ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ දේශීය කර්මාන්ත සඳහා ධනාත්මක බලපෑම් ඇතිවිය. ඒ අතුරින් බතික් කර්මාන්තයටද ප්‍රධාන තැනක් හිමි වූ අතර පසුකාලීනව රාජ්‍ය ආයතන මැදිහත් වීමත් සමඟ බතික් නිර්මාණකරණය පිළිබඳව රට පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. එමෙන්ම පාරම්පරික කර්මාන්තයක් වූ මෙම බතික් කර්මාන්තය පුද්ගලයාගේ ධනෝපාය මාර්ගයක් බවටද පත් වී ශීඝ්‍රයෙන් වර්ධනය විය. නමුත් ශ්‍රී ලංකාවට රෙදිපිළි ආනයනය කිරීමත් සමඟ දේශීය රෙදි කර්මාන්තයට මෙන්ම බතික් කර්මාන්තයටද සෘණාත්මක බලපෑමක් එල්ල විය. තවද Covid-19 වසංගතයත් සමග ඇති වූ ආර්ථික අස්ථාවරත්වය හමුවේ වර්තමානයේ ලංකාවේ බතික් නිර්මාණකරුවෝ තම නිර්මාණ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට තම නිර්මාණ පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා වූ ක්‍රියාවලිය තුළ විවිධ දුෂ්කරතාවලටද මුහුණ දෙනු ලබති.
විවිධ වර්ණ රටා හැඩ මවමින් පුද්ගලයාගේ නෙත් වශී කරන මෙම සෞන්දර්යාත්මක නිර්මාණ වර්තමානයේ අභාවයට යාමේ අවදානමක්ද පවතී. ඉතින් ආර්ථිකමය වශයෙන් රටට විශාල මෙහෙයක් සිදුකරන මෙම බතික් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමත්, ආරක්ෂා කිරීමත්, තව තවත් දියුණු කිරීමත් සහ බතික් නිර්මාණකරුවන් නිරන්තරයෙන් දිරිගැන්වීමත් සිදුකල යුතුවේ.
ඉමල්ෂා රාජපක්ෂ
කළමණාකාරණ පීඨය
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
Design - KC එදිරිසිංහ
Comments
Post a Comment