වීරයෙකුට ප්‍රේම කලෙමි



Article:Limasha Harini

Image: Sayuri Wijesekara


  වීරයෙකුට ප්‍රේම කලෙමි 


කෝපි පාට හැන්දෑවල් ගෙවෙන්න ඕන ආදරණීය ම හිත් එක්ක ....මේ හැම කෝපි පාට හැන්දෑවක් ම දවසක ම ආදරණීය මතක වෙනවා නම්....වරා මලක් වගේ පාවුණු ජීවිතයක් හිටි ගමන් සැඩ සුළඟකට අහු වෙලා ගහගෙන යද්දි කොහොමද දැනෙන්නේ....ඒ වගේ ම යි මගේ මේ ගෙවෙන දවස්....ඉතින් මේ හැමදේම ඉක්මන් වැඩි උනාදෝ කියලා පුංචි සිතුවිල්ලකුත් හිත අස්සේ ගුලි වෙන්නෙ මේ වගේ වෙලාවල්වල ම යි....හීන බලාපොරොත්තු කඳු තරම් උසට නොතිබුණ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුලුවන් සරල හිතක හිමිකාරියක්මි මම....හවසට මල් පාර දිගේ අත් අල්ලන් යන්න....මීදුම බාන හැන්දෑවක ගැලරියේ තේකක් බොන්න....අත් අල්ලන් රෑ අහස දිහා වරු ගනන් බලන් ඉන්න...හැමදාමත් මගේ හිතේ මැවුණු හීන....මම බොලඳ ප්‍රේමවන්තියක්මි...ඉදින් ගැහැනිය ආදරේ දී බොලඳ නොවන්නේ නම් එහි අමතක නොවන ප්‍රේමයක් දලු ලන්නේ නැත...නමුත් ඔහු පරිණත පිරිමියෙකි....ඕනෑවටත් වඩා ඔහු පෞරුශවත් ය...හඬ ගැඹුරු වූත් ප්‍රේමණීය වූත් එකකි...ඉතින් මම ඔහු කෙරෙහි ආසක්ත වීමී...වරු ගනන් ඔහු වෙනුවෙන් බලා හිඳින්නට වුණෙමි...ඉදින් මේ ගෙවෙන දෙදහස් දොලහ වසරේ දුරුත්ත මට මල් සමයක් වුණි..... 

ඒ කලු පාට ඇස් මා පලමු ව දුටුවේ කොල්ලො කුරුට්ටෝ ටිකක් වටකරගෙන සිනාසෙන ආඩම්බරකාර සින්නෙක් ලෙසය...කහ පාට පසුබිමේ සුදු මල් වැටුනු කොටු කර තිබූ ගවුමක් හැඳ ඔහු අසලින් යමින් ගමන් මම ඒ දෑස් දෙස හොරෙන් බැලුවෙමි...නුවර කලාවියෙන් වෙල්ලස්සට ආ මා ඔහුට තවත් එක් ජුන්නියක පමණක් විය....ඔහුට ඇහි පියවත් මා දෙසට හරවන්නට තරම් එදා උවමනාවක් නොවී ය....ඇස් උස්සා ඔහු දෙස බලා දෙපා වේගවත් කලේ කෑම පාර්සල් දෙකක් රැගෙන ඉකමනින් ම නේවාසිකාගාරයට යන්න ය....නමුදු ඔහු මා දැක තිබුණි....

" ඔය කහ පාට ගවුම.....ඒ...ඒ....ඔව් ....උඹට තමා....." 

ඒ ඇමතුම මට විය....හිතුවාටත් වඩා ගැඹුරු වූත් පෞරුශවත් වූත් කට හඬකි....ඉදින් බිමට බර කරගත් නෙතින් යුතුව මම ආපසු හැරුණෙමි....හෙමි හෙමින් ඔහු වෙතට ඇවිත් පේලියට සිටි කෙල්ලන් ගොඩට ම එක්කාසු වුණෙමි..... 

"කියපන් බලන්න ඔක්කොමලාගේ නම් ගම් විස්තර එක්ක අම්මලා තාත්තලා මොකද කරන්නේ කියලා"

ඒ ගැඹුරු හඬින් ලැබුණු දෙවෙනි විධානය එය විය.....

පේලියට කෙල්ලන් නම් ගම් කියද්දි අවසන ඒ ඇස් නතර වූයේ මගේ මත ය....හීන් ඇස් උස්සා මම ඔහු දෙස බැලුවෙමි.... 

"මම පාරුල්‍යා මන්දාරි .....අනුරාධපුරේ ගම.....අම්මයි මල්ලියි මමයි ඉන්නේ..... අප්පච්චි මම දොළහ වසරෙදි නැති උනා" 

ජීවිතයේ සංවේදී ම මාතෘකාව මෙය විය....අප්පච්චි....ඒ ගැන වදන් පිට කරන්න හිතද්දී ම හීන් සුසුමන් එක්ක ඇස් පිය බොඳ වෙනු මට පෙනුණි.....බොරුවක් නඩත්තු කරනවාට වඩා ඇත්ත ම ඒ ඇස් ඉදිරියේ දිග හරින්නට මට උවමනා උණි...නමුත් ඒ ගැඹුරු ඇස් ගැස්සුනේවත් නැත...එක එල්ලේ බලා මා දෙස බලා සිටි ඔහු අවසානයේ නිහඬ බව බින්දේ ය.... 

"උබලා මුන් ව බලාගනින්....නංගි එන්නකෝ මේ පැත්තට..." එහි සිටි තවත් තෙවන වසර සිසුන් කීපයට කී ඔහු පසෙකට වුණි...ඉදින් මම ඔහු පසුපස ම ඇදී ගියෙමි....කඳුලු බිඳු එක දෙක ඇස් අගින් බිමට අත හැරෙයි....ඉදින් ඒ අප්පච්චිගේ ආදරේ වෙනුවෙනි....පිහිදන්නවත් කඳුලු නවතන්නවත් මට ඇවැසි නොවුණි...මම පසෙකට වී ඔහු දෙස බලා සිටියෙමි.... 

"නංගි මන් දන්නවා ඔයාට දැනෙන්නේ කොහොමද කියලා....මම ඉන්නෙත් අම්මා එක්ක...මගේ මුලු ජීවිතේ ම මගෙ අම්මා....මන් අදටත් මගෙ තාත්තාව දැකලා නෑ.....ඉතින් කොල්ලෙක් වෙච්ච මට ඒ දුක කොහොම දැනෙනවද....ඊට වඩා සිය ගුණයක් වැඩියෙන් කෙල්ලෙක් වෙච්ච ඔයාට ඒක දැනෙනවා කියලා මම දන්නවා....අප්පච්චී අසනීප වෙලාද නැති උනේ.....කැමති නම් කියන්න....අඬන්න එපා කියන්නේ නෑ මන්...ඒත් දරා ගනින්...."  

පැහැදිලි හඬින් ඔහු ඒ සියුම් ව ස්ඵර්ශ කලේ හදේ සංවේදී ම වපසරිය යි....ඉදින් මම ඔහු ඉදිරියේ විවෘත වුණෙමි..... 

"අප්පච්චි නැති උනේ අසනීප වෙලා....එක පාර ආව අසනීප ගොඩක් එක්ක.." බිඳෙන් බිඳ බිඳෙන හඬින්මුත් මම කියා දැම්මෙමි... 

"අප්පච්චි තමයි කෙල්ලෙක්ගේ ලෝකේ වීරයා.....එහෙම නේද? මන් දන්නවා දුවෙක්ට කොහොමද අප්පච්චි දැනෙන්නේ කියලා....ඒ අඩුව ජීවිතේට එන කිසිම පිරිමි හිතකට පුරවන්න පුලුවන් දෙයක් නෙවෙයි...ඒත් උඹ මාර ශක්තිමත් කෙල්ලෙක්....අප්පච්චිත් නැතුව මෙච්චර දුර ආවා කියන්නේ....තව පොඩ්ඩ දුරයි උඹට යන්න තියෙන්නේ....බොහොම පරිස්සමෙන් හිත ශක්තිමත් ව මේකේ ඉදපන්....හොඳට වැඩ ටික කරගෙන අප්පච්චිට ආඩම්බර වෙන්න පුලුවන් දුවෙක් විදියට මේකෙන් එලියට යන්න ඕන දවසක...තේරුණාද? " 

මගේ ඇස් දෙස එක එල්ලේ බලන් ඔහු ඇසුවේ ය...

මම හිස සැලීමී....කඳුලු දැන් වියළී තිබුණි....ඒ හඬින් කියු කතා හිත නිවුවේ නැතත්ද්ද් යම්තාක් දුරකට උත්ප්‍රේරණයක් සිත තුල ඇති කරන්නට සමත් වී තිබුණි.... 

"හා එහෙනම් දැන් පලයන්....උබේ යාලුවෝ කවුරු හරි ඉන්නවද මෙතන...." 

පේලියට සිටි කෙල්ලන් දෙස බලා ඔහු ඇසුවේ ය....මම පේලියේ මුල සිට බලද්දි අනේ මගේ ගැලවීමට යන්තම් තවත් බැජියෙක් එහි විය.... 

"ඔව් අයියේ උත්තරා ඉන්නවා....." කියමින් මම ඇය ව පෙන්නුවෙමි....

"උබලා දෙන්නා පලයල්ලා...." ඉදින් ඔහු මා හට යන්නට හැරියේ ය....නමක් නොදත් ඒ සුන්දර හදවතකුත්, අහංකාර ඇස් ඇති තරුණයා මගේ සිත් ගත්තේ ය...පලමු දැකුමෙන් ම ඔහු සතුව විසල් හදක් ඇති බව ඔහු පෙන්නුවේ ය...ඉදින් ඔහු කිසිදාක මට මේ භූමිය තුළ අමතක නොවනු ඇත.....උත්තරා පැමිණ මගේ අත තදින් මිරිකා අල්ලා ගත්තාය.... 

"යමන් කෙල්ලේ....උඹ අඬන්නෙපා ආයෙම....." 

ඉදින් ඒ ඔහුගේත් මගේත් වගේ ම උත්තරා නම් සොයුරියක වන් මගේ මිතුරියගේත් පලමු හමුව විය.....එතැන් පටන් ඔහු මගේ හිත තුළ අමුතු ම ආකාරයක විපලවයක් කර තිබුණි.... 

සරසවි මාවත් තුල මිතුරන් සමඟ එකට ඇදෙන ඔහුගේ රුව මට නිතර නිතර ම පෙනුණි...ඔහු දකින විට හදවත උන්මාදයට පත් වන වගත්....මේ හිත අර අදින්න නවමු කතාවකට වගත් තේරුම්  නොයන්නට තරම්  මම බොළඳියක නොවුණෙමි....ඉදින් ප්‍රේමය මගේ හද තුළ ඉපදී තිබුණි....එය මට හොරෙන් වූවක් නොවී ය....මගේ අනුදැනුමෙන් ම හද තුළ පෙම් මල් පීදී තිබුණි....නමුත් ප්‍රේමය මගේ පසින් සම්පූර්ණ වුව ද ඔහු මා ගැන...මගේ සිතුවිලි ගැන හාන් කවිසයක් වත් දැන් සිටියේ නැති බැව් මට විශ්වාසය....ඉදින් මම මගේ ප්‍රේමයේ පින්සල් ඉරි සිත්තම් කරන්නට සිතුවෙමි.... 

කලකට පෙරෙ කොල කෑල්ලක් පැන්සලක් අතට හසු වූ විට ම හිත යන්නේ කුමක් හෝ කුරුටු ගාන්නට ය...එකල මාත් මල්ලීත් සිටි අපේ කාමරය කලාගාරයකි....හිතට එන හැමදේත් කර්කශ පොළොවේ දකින හැම දේත් මා අතින් සිත්තම් උනේ ඉබේට ම ය...මා සතු වුණු ඔප මට්ටම් නොකල අපූර් ව හැකියාවකි එය...අප්පච්චීගේ වියෝවෙන් මා ඒ හැමදේකින් ම ඈත් වූයේ ඉබේට ම ය....ඉද්න් නැවතත් ඒ කාලා හිත වතුරේ එබූ බෝලයක් මෙන් උඩට ඇවිත් ඇත....අවසන මම ඇන්දෙමි....ඇත්තෙන් ම ඒ මා ඇඳි වඩාත් ම අසීරු ම රුව විය...මුලින් ම ඒ දිගටි මුහුණත් එකිනෙකට ළං වන්නට ආසාවෙන් සිටින ඝන ඇහිබැමිත් සිත්තම් විය....වඩාත් අපහසු ම කාර්යය වූයේ ඒ දීප්තිමත් කෝපි පාට ඇස් ඇඳී ම ය...මිනිසුන් වශී කරවන ඇස් හැමෝට ම ලැබෙන්නේ නැත...දෙකෙලවරින් ඒ ඇස් හරි අපූරුවට නිමා වෙමින් මුහුණට ආසක්ත පෙණුමක් එක් කර තිබුණි....මුහුණ මැද නහය බව කට වචනය වූවාට තිරස් රේඛාවක් ඇඳි විට හරි මැද වන්නේ ඇස් සීමාවයි....ඉතින් මම වරු ගනන් ගෙන ඒ කෝපි පාට ඇස් පැන්සල් තුඩින් ඇන්ඳෙමි.....මගේ කලු පාට ඇස් වෙහෙසයි කියද්දී තව තවත් ඇන්ඳෙමි.....අවසන ඔහුගේ ජීවමාන රූපයට බොහෝ සෙයින් සමාන වූ පැන්සලින් සිතුවම් වූ රුවක් මා සතු විය....හැමදාම ඒ රුව මා ලඟ තනි රැක්කේ ය...ඔහු මතක් වන හැමදාමත් මගේ පපුවට තුරුල් වූයේ ඒ රුවයි ..... 

දරා ගත නොහැකි පෞරුෂයකයෙන් හෙබි ඔහු ශිෂ්‍ය ක්‍රියාකාරී ශිෂ්‍ය සංගම් සාමාජිකයෙකි...සැබවින් ම විසල් හදක් හිමි ඔහු අනුන් වෙනුවෙන් කැපවීම අරුමයක් නොවුණි...සිසිත.....ඔහු මා වෙනුවෙන් උපන්නෙක් නොවුණි....ඔහු හුදෙක් ආදරණීය මානව සම්පතක් නිර්මාණය කිරීමෙහිලා වෙහෙසෙන්නෙකි....ඉදින් නැවතත් ඔහුත් මාත් මුහුණට මුහුණ හමු වූයේ අහම්බයකිනි.....පින්සලින් සිත්තම් මවන්නට හපන්නියක වූ මා මිතුරන් ඊලඟට බලෙන් ම මෙන් ඇදගෙන ගියේ සිසු අරගල සටන් පාඨ ලිවීමට යි... 

"සිසුන්ගේ ජීවිත බිල්ලට අරගත් - ශිෂ්‍ය මර්දනය අවසන් කරපන්......" 

අරගලකාරී විප්ලවවාදී අකුරු මගේ අතින් විසල් පුවරු මත ලියවෙද්දී පසෙක සිට ඔහු මා දෙස බලා සිටිනු මම හොරැහින් දුටුවෙමි....ඉදින් දා බිඳු පිසලමින් ලීවාට මදිය ....ඔවුන් සමඟ ම ප්‍රදාන මංසන්දියේ ශිෂ්‍ය පා ගමනට එක් විය යුතුය...

"ශිෂ්‍ය මර්දනය නවතනු....නිදහස් අධ්‍යාපනය සුරකිනු" මා අත වූයේ එම සටන් පාඨය ලියූ බෝඩ් කැබැල්ලකි....ඔහු ඉදින් ඉදිරියෙන් ම සිටියේ ය....සැබවින් ම පෙරෙමුණට වී මහ හඬින් උගුර ලේ රහ වන තෙක් කෑ ගසන සටන් පාඨ ඇරඹියේ ඔහුගේ හඬිනි..... 

"අපේ උන්ට - පයින් ගහන

යකඩ බූට් - ගලවපියව්

තොපි ඉන්නෙත් අපේ වලේ

අපේ පැත්තේ හිටගනියවු" 

මේ ඇසෙන්නෙ ඔහුගෙන් ඇරඹි ආවේගශීලී සටනේ හඬයි.....

මෙය හුදෙක් නාම මාත්‍රික අරගලකාරී සමයක් නොවුණි...මාලඹේ ඉදි කළ සයිටම් පෞද්ගලිකව විශ්වවිද්‍යාල හරහා බිහි වන්නට යන උපාධි කඩ වලට එරෙහි වූත් නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සුරැකිනු වස් වූත් සටනකි....ප්‍රධානත ම සටන් පාඨය වන්නේ හොර උපාධි කඩ වැසීමත් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදනයෙන් 6%ක් යොදවා අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් ය....සැබවින් ම මේ කතා සියල්ල ම මනෝ ලෝකවල ප්‍රේමය සෙව් මට බර වැඩි විය....මේ සා හෝ යමක් දැන ගත්තේ නම් ඔහුගේ හඬ වශී වී ඔහු දෙස බලා සිටීමෙනි....ඉතින් පුරවර වසා ඇත්තේ අප සහෝදර හඩය....හතර දෙසින් ඇසෙන්නේ අවහිර වූ මාර්ග වල රථ වාහන ශබ්දයත් ඒ සියල්ල පරයා නැගෙන සිසු ඝෝෂාවත් ය....ඉදින් වැඩි වේලාවක් එලෙස අරගල කරන්නට අපට රිසි නොවුණි....පොලිස් බල ඇණි හා කඳුලු ගෑස් පුරවර ප්‍රධාන මාර්ගයෙන් අප දෙසට එන පෙනුණි.....දැන් නම් මගේ හිත බියෙන් වෙලෙන්නේ ඔහු ගැන ය....ඔහු අරගලකරුවෙකි....මානව ප්‍රේමයෙන් ඔද වැටුණෙකි...නමුත් ඔහු මගේ ප්‍රේමයයි......මගේ අප්‍රකාශිත ප්‍රේමයයි....ඉදින් ඔහුට සීරුමක් හෝ වුවොත්....එය දරාගනු අපහසු මටය...මගේ ඇස් දිව්වේ ඔහු පසු පස්සේ ය....ඔහුගේ ඇස් නම් මා වෙත හෙලුනේ අල්ප බැල්මකි..... 

"කෙල්ලො ටික ඔක්කොම පස්සට යවපල්ලා....උන්ට හීරීමක්වත් වෙන්න බෑ.....උබලා උන්ව පරෙස්සම් කරපල්ලා" 

ඉදින් ප්‍රහාරයක් එල්ල වනු නියතය....එසේ වුව ද ඔහු සටන තුළ ඔහුගේ භූමිකාව කිසි විටෙකත් මග හැරෙන්නට දුන්නේ නැත...කොල්ලන් සියල්ල එක්කව ඉදිරි පෙළ එකාවන් ව පෙළ ගැසෙද්දී කෙල්ලන් සියල්ල පසු පස්සට උණි...අනේ මා කෙසේ පසු පස්සට යන්නද......බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනින් ම කඳුලු ගෑස් වරුසාවක් අකීකරු හිත් තෙමමින් ඇද හැලුණි...කෙල්ලන් සියල්ල මා ද තල්ලු කර ගෙන පසු බසින්නට විය....සෙරෙප්පු කෑලිත්....අකුරු බෝල කර හැඩ කර ලියූ සටන් පාඨ සහිත බෝඩ් කෑලිත් ඒ මේ අත විසිරුණි....මම පමණක් කොල්ලන් පවුරට පිටුපසින් තනි වුණෙමි....මම එසේ වූයේ හිතේ වූ එඩියට නොව....ආදරේ නාමෙන් පෙම් කල මිනිසාට සීරුමක් හෝ වේ යන ගෑණු කම නිසාවෙනි.....ඇස් රතු කරවන හුස්ම ගන්නට පවා අපහසු කරවන කඳුලු ගෑස් ඇද හැලෙද්දී තමන්ගේ පවුරෙන් මිදී ඔහු මා වෙත් ආවේය....පිටුපස හැරී හිස උස්සා බැලූ ඔහු විත් තෙමී බිය වී සිටි මා ඔහුගේ පපු තුරුළට ගෙන කඳුලු ගෑස් පහරට පිට දුන්නේ ය....ඉදින් තම සගයා අත් නොහැර සියල්ලෝම අප දෙදෙනා වටා පවුරක් වන් ව එකතු විය.....

ඉදින් සටන නොනැවතුනි....කඳුලු ගෑස් ප්‍රහාරය ලිහිල් වද්දී තව දුරටත් සිටන් සිටින්නටත් හුස්ම ගැනීමට අපහසුවකුත් වූ බැවින් කදුලු බේරෙන් දෑස් හෙමින් පියවී ඔහුගේ පපු මත්තේ ම මගේ දෑස් පිය වෙනු දැනුණි...... 

එදා ඔහුගෙ මුදු හදට තුරුල් ව සිටිය ද ඉන්පසු ව මට ඔහුව මුණ ගැසුණේ සතියකුත් ඉක්මවා ගිය තැන ය...ඔහු හිමි කර ගැනීම පහසු නොවුණි.....මා ඔහුට ආලය කරන වග ඔහු දනී....නමුදු ඔහුගෙන් ආල ඉඟි ලැබීම වෙහෙසකර කාර්‍යයකි.....මා ඔහු දකිනු වස් ඔහු වෙනුවෙන් ගැලරියේ උන්න ද ඔහු උන්නේ මහා ශිෂ්‍ය සංගමයේ රැස්වීම්වල ය...මා ඔහු එන තෙක් මල් පාරේ ඉන්නා විට ඔහු අත් පත්‍රිකා මුද්‍රණයට ගොසිනි...ඉදින් මා සෙවූ සුකුමාල ප්‍රේමය එතරම් ලෙහෙසි මට නොලැබුණි....නමුදු ඔහු මා හට ප්‍රේම කරන වග මම දනිමි..... 

එදා වැහි මන්දාරම් පිරුණු හවසකි.....සරසවි බස් නැවතුමේ මා සිටියේ නිවස බලා යන්නට සූදානමිනි....තෙමසක් ගෙවුණු තැන ලැබුණු නිවාඩුවට අම්මා බලන්නට යාම හිතට සැනසුමකි.....ඔහුගේ රුව නොදැක සිටීම හිත කීරි ගසන්නක් වුව ද අම්මා බලා එන්නට උවමනා විය...මැයි මල් විසිරුණු මාවත....කොල පාට බස් නැවතුම.....මේවා ප්‍රේම පාරාදීසයන් ය....මැයි මල් පිපෙන සමයේ මගේ ප්‍රේමය ද පූදින්නෙ නම්......ඉදින් හීන ලෝකේ ඉද්දී මගේ දෙපා ආසන්නයේ නැවතුනේ ඔහුගේ යතුරු පැදියයි.....හැමදාම හිස උස්ස උස්සා හැමතැන ම දකින ඔහුගේ යතුරු පැදිය මට අලුත් දසුනක් නොවී ය....අව්වට ම පාට පිච්චුණු ඇතුලේ ඇති පැඩින් කහ පාට පැඩින් කෑලිද අවර්ණ වී ගිය හිස් වැසු ම ගලවා බයිසිකලයේ රැඳවූ ඔහු මා ඉදිරියේ සිට ගත්තේ ය...ඉදින් ඒ පිරිමි පෞරුශය ඉදිරියේ දිය වී ගියේ මගේ ගෑණු හිතයි....හිස ඔසවා ඔහු දෙස බැලුමට අධිකතර වූ අපහසුවකින් මම පෙලුණෙමි...මම බිම බලාගෙන ම සිටියෙමි.....හැමතැන ම දුව දුව ඇවිදින් ඔහුගේ ගෙවීගිය රබර් සෙරෙප්පු දෙක මත ම මම ඇස් අලවා තබා ගතිමි..... 

" දාරි......ගෙදර යන්නද ඉන්නේ? " 

ඒ ගැඹුරු හඬින් මා මෙතෙක් අසා තිබූ සුමට ම හඬ මට ඇසුණි....සැමට මන්දී වූත්...අම්මාට පාරුවූත් මා ඔහුට දාරි වී තිබුණි.....ඉතින් ඒ ආදරය තැවරූ ඇමතුමට හද තුල රිදී ඉරි විහිදෙද්දි ඒ ඇස් දෙස බලා පිළිතුරු බැන්ඳෙමි.... 

"ඔව් අයියේ....අම්මයි මල්ලියි බලලා එන්න....." 

සිහින් හඬින් මම කීවෙමි...සැබවින් ම මම මිමිණීමි..... 

"දෙන්න බෑග් එක...මන් ටවුන් එකෙන් බස් එකට දාන්නම් එන්න....." 

මගේ අයිතිකරු සේ ඔහු පෙරමුණ ගත්තේ ය...මම ඔහු පසු පස්සෙන් වැටුණෙමි....ඉදින් ඔහුගේ පසු පස හිඳ අඩි දහයක් ඉදිරියට ගිය ද එය මට තව මාසයක් ජීවත් වන්නට හුස්ම ඉතිරි කරයි....ඉදින් ඔහුගේ පුලුල් උරහිස් ලඟ මම නතර වී සිටියෙමි.....හොඳින් හුස්මක් ගෙන දාඩිය සුවඳ මුහු වූ ඒ ආදරණීයයාගේ සුවඳින් හිත පුරවා ගත්තෙමි....සැබවින් ම මා ඔහු ළඟින් අත් විඳින්නේ අප්පච්චීගේ සුවඳ ය....ඔහුත් මේ වගේ ම....මීටත් වැඩියෙන් මහ පොලොව සමඟ එක් ව දාඩිය හැලූ උතුම් මිනිසෙකි...ඉදින් මා ඔහු තුළින් අද විඳින්නේ ද අප්පච්චි ලඟ එදා විඳි ආරක්ෂාකාරී සිතුවිල්ල මය.....ඒ සැනසුම් සහගත හැඟීම ම ය...

මා බසයට නැං වූ ඔහු බසය ගමන් අරඹන තෙක් මා අසලින් හිඳ ගත්තේ ය....මම ඔහු දෙස බැලුවෙමි.....ඔහු මගේ දෙස බලා සිටියේ ඒ තද කලු ඇස් වලිනි....ඉතින් ඒ ඇස් මතින් ප්‍රේමය වෑහෙන බැව් ඉඳුරා ම පෙනුණි....ඉතින් ඒ මුවින් ඒ වචන දෙක තුන පිට වෙනවා නම්........අනේ මා එය අසන්නට කෙතරම් නම් කැමති ද? 

"මන් දන්නවා ඔය ඇස් ලොකු කරන් මන් මොනා කියනකන් ද ඉන්නෙ කියලා....මට ඒ වචන ටික කියන්න පුලුවන්.....ඒත් ඒක නිකම්ම නිකම් වචන ටිකක් නෙවෙයි....ඒක පොරොන්දුවක් වගේ ම බැඳීමක්.....පණ තියෙනකම් මම රකින්නම්...හැබැයි හුස්මක් වගේ පරිස්සම් කරන්නම් කියන්න බෑ....මොකද මගේ හුස්ම මට අයිති නෑ....පරිස්සමෙන් ගිහින් වරෙන් දාරී"  හැඟීම් ගොන්නක් තැවරු හඬින් කී ඔහු එය අවසන් කලේ අතින් මගේ හිස ඔහු වෙත් ළං කරගෙන නළල මත ගැඹුරු හුස්මන් තැවරූ ප්‍රේමණීය හාදුවක් සටහන් කරමිනි....අනේ මට ඉකි ගැසුණි....කඳුලු කැට කඩා නොවැටුටන් හදවතින් ඉකියක් නැඟුණි....ඒ තරම් ඒ හාදුව බර උණි....හදවතට දරන්නට අපහසු තරම් ප්‍රථම හාදුව බර එකක් වුණි......

පරිස්ස්ම වන්නට දිගින් දිගට ම කියා යන්නට හැරුණු ඔහු ආපහු විත් මා අත පොතක් තැබුවේ ය..... 

"ඔයාට අයිති මගේ දේකුත් මට අයිති ඔයාගේ දේකුත් ඇති.... බලන්න...." 

ඉතින් එපමණකි...ප්‍රේමණීය සිනාවක් පෑ ඔහු බසයෙන් බැස්සේ ය....බසය ඉදිරියට යද්දී ඔහුගේ රුව බොඳ ව තිතක් ව යන තෙක් මම ඔහු දෙස ජනේලයෙන් එල්ලී බලා සිටියෙමි....අවසන බුරුල් වූ නාසය උඩට අදිම්න් ඔහු දුන් පොත දෙස බැලීමි...'සැබෑ මිනිසෙකුගේ කතාව'......බරිස් පලෙවොයිගේ රුසියානු නවකතාව.....ඔහුට අයිති මා සතු වන දෙය කුමක්දැයි කුතුහලයෙන් මම පොත පෙරෙලුවෙමි....

අවසන් පරිච්ඡේදයට පෙර එහි වූයේ නැවූ කොළයකි....එය පොඩි වී තිබුණි.....නමුත් එය කුමක් දැයි කියා සිතීමට මට ඇවැසි නොවුණි.....ඉදින් ඒ මා ඔහු සිත්තම් කළ කොළයයි....එයා පෙලපාලිය දිනයේ එය මට අහිමි ව තිබුණි.....සෑමවිටම මා ලඟින් සිට ඔහුගේ අඩු ව පිර වූ ඒ ආදණීය සිතුවම .....මහාර්ඝ වස්තුවක් නැවත ලැබුණාක් මෙන් සතුටකින් මම එය දිග හැරීමි....එහි කොනක ඔහු මා වෙනුවෙන් ලියූ පද පේලි කීපයක් විය...... 


"ප්‍රේමයේ අහුමුලු 

නිදහසේ විඳින්නට 

හිටපන් ......

මානව ප්‍රේමය 

හිත් තුළ අතුරා

එන්නෙමි......"

    - සිසිත - 


ඉදින් මා මෙන් ඔහුත් ප්‍රේමය විඳින්නට ආසාවෙනි.....මම නිදහස් කිරිල්ලියක වුව ද ඔහු නිදහස් කුරුල්ලෙකු නොවුණි....ඔහු රැහේ සුබ සෙත වෙනු වෙන් කැපවිය යුතු ය...මට ඔහු තේරුම ගත හැකි වුණි....සැබවින් ම ප්‍රේමය බැඳීමක් නොවුණි....එය නිදහසක් වුණි.....ඔහුට ප්‍රේම කිරීම සාමාන්‍ය පිරිමියෙක්ට ප්‍රේම කිරීම තරම් පහසු නොවුණි....ඉදින් එදා රැයේ මා සමඟ තනි රැක්කේ ඇලෙක්සේයි මොරෙස්යෙව් නම් ගුවන් නියමුවායි....සැබැවින් ම ඔහු සැබෑ මිනිසෙක් විය.....ඉසිත දවසක නුඹ ද ඔහු තරම් ආදණීය මානවයකු වනු ඇත..... 

පෙම් අහුමුලු සොයන්නට ලැබුණු ලැබුණු වේලාවල් වල අපි හුරු වීමු.....මල් පාරේ යන විට ඔහුගේ ඉදිරි අරමුණු වලට සවන් දුන්නෙමි....

"දාරි.....අපේ සටන දැන් පටන් අරගෙන ඉවරයි....ඉස්සරහට මීටත් වඩා අපිට මහන්සි වෙන්න තියෙනවා.....ඇත්තට ම ඒ අපි වෙනුවෙන් නෙවෙයි....අපෙ පොඩි එවුන්ට අනාගතයක් හදන්න...."

ඔහුගේ දැක්ම පුලුල් එකකි.....සරසවිය තුළට සීමා වූවක් නොවී ය....

"අයියේ.......ඔයාට බය නැද්ද පොඩ්ඩක් ම වත්....මට ....මට හැමවෙලාවෙ ම ඔයා ගැන බය හිතෙනවා....." ඒ දෑඟිලි තදින් තෙරෙපමින් ඒ දෑස් දෙස බලා මම ඇසුවෙමි...ඉදින් ඒ හැමදාමත් මගේ හිත තුළ කැකෑරෙන සහේතුක බිය විය.... 

"දාරි.....බය නොවෙන්න මන් මැරිච්ච් මිනිහෙක් නෙවෙයි....මම බයයි හැබැයි ඒ මැරෙන්න නෙවෙයි......මගෙන් පස්සෙ ....මගේ පස්සෙන් එන උන් ටිකගේ අනාගතේ ගැන මන් බය......"

සිහින් සෝ බර හිනාවක් පා ඔහු නැවතත් කතා කලේ ය..... 

"දාරි ඇයි දන්නවද ඔච්චර ලස්සන උඹේ නමෙන් මන් දාරි කියන කෑල්ල විතරක් ගත්තේ.....උඹට පුලුවන් උනා මාව දරාගන්න..එදත් .....අදත්....ඒ වගේ ම හෙටත්....මගේ ආදරේ උඹ හොයන මටසිළිටු ආදරයක් නොවෙන්න පුලුවන්....ඒත් මන් උඹට හිත පුරා ආදරේ දෙන්නම්....." 

ඉදින් මට තවත් ආදර කතා නුවමනා විය....ප්‍රේමයේ හිස් තැන් නොවුණු දයාව පිරි හදවතක් ඔහුට විය.... 

"ආ ඒක නෙවෙයි එන්නකෝ යන්න.....ඔයාට පෙන්නන්න දෙයක් තියනවා....අලුත් ශිෂ්‍ය ගොඩනැගිල්ලේ චිත්‍ර අඳින්නේ අපිනේ.....යමුකෝ මන් අද අඳින් එක පෙන්නන්න....."

ඉතින් මල් පාර දිගේ අත අල්ලන් මා ඔහු කැටු ව ගියේ නව ශිෂ්‍ය ගොඩනැගිල්ලේ මා ඇඳි සිතුවම් පෙන්නන්නටය....

ඉදින් මා එහි ඇඳ තිබුණේ එදා ඔහු මා කඳුලු ගෑස් ප්‍රහාර හමුවේ රැක ගෙන......අප වටා සිසු ප්‍රාකාරයක් ගොඩ නැගී තිබූ ඒ අමරණීය දවසයි.....ඉතින් ඒ ලග ම වූ කලු පාට තීන්ත භාජනයත් පින්සලත් ගත් ඔහු බිත්තියේ ඔහුගේ සිතුවිල්ලක් ද ඒ අසල ම පින්තාරු කළේ ය..... 

"කඳුලු ගෑස් - ජල ප්‍රහාර 

බැටන් පොලු පහරට - වෙඩි උණ්ඩයට බිය වූවා නම් 

මේ සටන නැවතී

නිදහස් අධ්‍යාපනය මියැදී හුඟක් කල්"

                 -ටොක්කා-

ඉදින් තෘප්තිමත් දෑසින් මා ඔහු දෙස බලා සිටියෙමි....මා ඔහු තරම් සටන්කාමියෙක් නොවුන ද මානව වර්ගයාට අසීමිත ව ප්‍රේම කරන ඔහු ව වදනකිනුදු ආපසු හැර වූයේ නැත....

ඔහු ගැන උපදින් බියේ ගිනි දැල් හද තුළ ම තබා ගෙන ඔහුට සිනා පාමින් ඒ වේදනා දරාගෙන ඔහු බලාපොරොත්තු වන දාරී ම වුණෙමි....... 

"දාරී.....මන් දැන් ආයෙත් මේ ටිකේ ම ඇතුලේ නෑ....අපි පා ගමනයි පෙලපාලිය ගැනයි බලන්න ඕන....උඹ පරිස්සමෙන් ඉදපන්......"

ඉදින් මා ආසා ම කරන නලලතට ලැබෙන ඒ හාදුව දී මා දෙස ආදණීය ඇස් බැල්මක් හෙලා ඔහු එදා පිට ව ගියේ ය..... 

"පරිස්සමෙන් .....මන් එනකම් බලන් ඉන්නවා....." මම මිමිණීමි....... 

ඉදින් අදටත් නුඹෙ හුස්ම තැවරුණු මේ සරසවියේ ම මම බලා හිඳිමි නුඹ එනකම්......

එදා මා ඇඳි සිතුවම ලඟ අද ඌන පූරණයකි......ඉදින් කඳුලු රැඳි බොඳ වුණු දෑසින් හැමදාමත් මම ඒ දෙස බලා හිඳිමි......

හැමදාමත් මා කියවන්නට අපොහොසත් වන්නේ මැද පේලි කීපයයි......

"දින තුනක් තිස්සෙ පැවති පා ගමනේ අවසානය සැප්තැම්බර් 27 දින් පේරාදෙණිය සරසවියෙන් නිමා කරන්නට සූදානම් ව තිබුණි.. සිසිත සහෝදරයා ,ශිෂ්‍ය සංගමේ සභාපති වූ ජනක සහෝදරයා සමඟ අත්පත්‍රිකා තොගය රැගෙන ඒමට බණ්ඩාරවත්ත ප්‍රදේශයට යතුරු පැදියකින් ගොස් තිබුණි..නමුත් සොයුරන් දෙදෙනාට එරැයේ මුහුණ දීමට සිදුව තිබුණේ මහා ඛේදවාචකයකටයි. අනතුරකට ලක්ව හදුනා ගැනීමටවත් නොහැකි තරම් දරුණු තුවාල කැලැල් සහිත සිරුරු පසුදින උදෑසන කඩවත ඉඹුල්ගොඩ ප්‍රදේශයේ විදුලි කණුවක් අසලින් හමුවිය. 

පාලකයින් විසින් මෙය හුදෙක් රිය අනතුරක් බව හුවා දැක්වීමට උත්සාහ කළත් අදිසි ඝාතන හස්තයක් ක්‍රියාත්මක බව අවධාරණය වන්නේ පසුව හෙළිදරව් වූ හේතු සාධකත් සමගයි. ප්‍රදේශවාසීන් ලබාදුන් සාක්කි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන්ට එල්ලව තිබූ ජීවිත තර්ජන, යතුරු පැදියේ සහ විදුලි කණුවේ හානි වූ ස්ථාන වල පැවති නොගැලපීම් මෙන්ම සහෝදරයන් දෙදෙනාගේ දුරකථන අතුරුදහන් වී තිබීම සහ ඒ පිළිබදව උසාවියට සාවද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සැක උපදවන හේතු සාධක විය. 

තමන්ට සහ සුළුතරයක් වූ ධනපති පන්තියට පමණක් වාසි සහගත ප්‍රතිපත්ති තීරණ ගැනීම මෙරට පාලක පන්තියේ ක්‍රමයයි. මෙම අත්තනෝමතික ප්‍රතිපත්ති වලට සහ දුර්දාන්ත පාලන ක්‍රමයට විරුද්ධව හඬ අවදි කළ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට සෑමවිටම ආණ්ඩුවේ විසඳුම වූයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත බිලි ගැනීමයි. ත්‍රිමා-වෙනුර සිසු විරු පරපුරකින් පැවත එන, නිදහස් අධ්‍යාපනය සුරැකීමට කැපවුණු උදාර ශිෂ්‍ය ව්‍යාපාරයකට සවි දුන් සිසිත ප්‍රියංකර සගයායාණෙනි, ඔබ අප හදවත් තුළ අදටත් ජීවමානයි." 

ඉදින් මානව පරපුරට අසීමිතව ප්‍රේම කළ ඔහුගේ කතාවයි මේ.....ඔහුත් මාත් ලියූ අසම්පූර්ණ ප්‍රේම කතාවයි......අවසානයේ ඔහු සැබෑ මිනිසෙක් ලෙසින් ම ඉතිහාසයේ ලියැවුණි.....මා ඔහු එන තෙක් අදටත් තනි ව බලා හිඳිමි.....ඉදින් ලබන හැම ශිෂ්‍ය වීර දිනයක් ම මට ඔහු නැවත සමීප කරවන දවස් ය.....

මේ ඇහෙන පද පාරවන්නේ මගේ තැලුණු හිත ම ය.....ඒ වීරයෙකුට පෙම් කළ වරදට ය..... 


"නොසිත සිත සිට ගත් මග

දෙසිත විහසිත මුව අග

මසිත විකසිත - කුසුම නුඹ ළඟ

සිසිත නුඹ දන්නවාද

නුඹේ නමට පිදෙනා වග..."


                                

_Limasha Harini _

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි