තරුවක් උන මිතුදම


 Article Limasha Harini
Image: Sayuri Wijesekara



තරුවක් උන මිතුදම 


සමහර මිනිස්සු හරියට තරු වගේ...ආපසු කිසිවක් ම බලාපොරොත්තු නොවී මහ ගොඩක් එළිය විහිදලා හැමෝට ම උදව් කරනවා…තරු පිරිච්ච වෙල්ලස්සේ අහස යට ඉඳන් අද මේ ආදරණීය මතකාවර්ජනය තරුවක් වගේ මගේ ළඟින් හිටපු ඔයා ගැන.....

අලුත් ඉස්කෝලයක්...ශිෂ්‍යත්වය ලියලා අලුත් බලාපොරොත්තු ගොඩක් පොදි බැදගෙන ආව දවසක ඉස්සෙල්ලම ඔයාව දැක්කේ....ඔයාටත් වඩා දැක්ක දවසෙම ආදරේ හිතුනේ ඔයාගේ අම්මට....හරි ම ලස්සන සාරියක් ඇඳලා ඔයාව එක්කන් ඇවිල්ලා හිටියේ....ඔයා නම් පොඩ්ඩක් බය වෙලා හිටියේ...මන් ඒ පොඩි කාලෙත් ටිකක් පණ්ඩිත හින්දා මන් ම කතාව පටන් ගත්තා....අදටත් මතකයි මන් ඉස්සෙල්ල ම අහපු ප්‍රශ්නේ.... 

"ඔයාගේ නම මොකද්ද?" 

"මන් ටමාශා....ඔයා....? " හිමීට හරිම අහිංසක විදියට ඔයා උත්තර දුන්නේ,

"මන් ලිමාෂා....ශිෂ්‍යත්වෙට ලකුණු කීයද?"  කිසිම පැකිලීමක් නැතුව මන් දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා.

"මට 148 යි...ඔයාගේ කීය ද?"  

"මට 156 යි....අපි දෙන්නා එහෙනම් යාලුවෝ වෙමුද" 

ඔන්න ඔහොමයි අපේ යාලුකම පටන් ගත්තේ.....

අදටත් ඔයාගෙන් ආදරේට මන් බැනුම් අහන්නේ....'අනේ ඉතින් ශිෂ්‍යත්වෙ ලකුණු අහලා යාලු උන එකානේ....' කියලා...ඉතින් ඒ බැනුම් ආදරණීයයි....අදටත්..... 

ඉතින් යාලුවෝ කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් ම යාලුවෝ කියලා මන් අඳුරගත්ත දවස ආවේ ඊට අවුරුද්දකටත් විතර පස්සේ.....ඒ අපිට බෙහෙත් විදින්න කියලා අපේ සෞඛ්‍ය පරීක්ෂණයක් කරන්න MOH එකෙන් ඉස්කෝලෙට ආව දවසේ....

පුන්චි කාලේ ඉදන් ම මගේ ඇස් පෙනීම පොඩ්ඩක් දුර්වලයි කියලා මන් දැනන් හිටියත්....ඒ බෝඩ් එකේ ලොකු ම අකුරේ ඉඳන් මට බොඳ වෙලා පේන්නේ කියලා දැනුනම පුන්චි මගේ ඇස් වල කඳුලු එක දෙක පිරුණා....හැමෝම බෝඩ් එක කියවලා පන්තියට යද්දී මන් හෝල් එකේ තනි වුණා....ඩොක්ටර් අන්කල් මාව තියාගෙන 

"පුතේ අම්මට මේ කාඩ් එක්ක දෙන්න....මතක ඇතුව අම්මා එක්ක ක්ලිනික් එකට යන්න " කියලා කාඩ් එකක් මගේ අතේ තියලා මාව ආපහු පන්තියට එව්වා ම....හැමෝම අනුකම්පාවෙන් වගේ මගේ දිහා බලද්දී....පුන්චි මන් හුඟක් අසරණ උනා...ඉතින් මන් එදා ගෙදර එනකොට වෙනදට ලස්සනට පෙනුන පාරේ තියෙන පාට පාට බෝඩ් මට බොඳ වෙන්න පටන් ගත්තා....ඇත්තටම මට පේන්නේ නෑනේ කියලා මගේ හිත කෑ ගහන්න ගත්තා.....ඒත් ඊට පස්සේ දවසේ උනේ මන් හිතුවේ වත් නැති දෙයක්....

අපේ පන්තිභාර් ටීචර් අම්මට කතා කරලා කියලා තිබුණා 'ලිමාෂාට කණ්ණාඩි දෙකක් හදන්න දෙන්න යන්න සෙනසුරාදා ලෑස්ති වෙන්න කියන්න කියලා...' මොකද මට කණ්ණාඩි දෙකක් ඉක්මනට හදලා දෙන්න තරම් පුලුවන්කමක් අපේ අම්මට එදා තිබුණේ නෑ....ඉතින් මම ඇත්තට ම එදා හිතුවේ ටීචර් මට කණ්ණාඩි දෙකක් හදලා දෙන්න යන්නේ කියලා....

එදා මම මට තියන ලස්සන ම ඇඳුමත් ඇඳගෙන අම්මා එක්ක පාරට ආවාම අපි ඉස්සරහ නතර උන කාර් එකේ ඉඳන් මට අත වැනුවේ ඔයා.....ඉදින් එදා තමා මන් ඉස්සෙල්ලම ඔයාගේ තාත්තව දැක්කේ...ඒ අම්මයි තාත්තයි තමයි මන් අදටත් මේ ලෝකේ දැකපු ලස්සන ම හදවත් තියෙන දෙමව්පියෝ දෙන්නා.....ඉස්සෙල්ලම මට පොඩ්ඩක් ඊරිසියා හිතුනා 

"අනේ අන්කල් කොච්චර හොඳයි ද....අපේ තාත්තත් එහෙම උනා නම්" කියලා...ඒත් කාලයත් එක්ක මන් තේරුම් ගත්තා ඔයාලගේ ආදරේ දිහා බලාගෙන් ඒ ආදරේ රස විඳින්න.....ඇත්තට ම මම දැකපු ලස්සන ම තාත්තගෙයි දුවගෙයි ආදරේ ඔයාලා දෙන්නා..... 

ඉතින් මන් එන්නම් ආයේ ම කණ්ණාඩි කතාවට....ඉතින් එදා මගේ ඇස් බලලා....මම තෝරපු රාමුවකට මට කණ්ණාඩි දෙකක් හදලා සති දෙකකින් දෙන්නම් කිව්වා.....

ඉතින් ඒ තමයි මන් ගත කරපු දීර්ඝ ම සති දෙක....ඉතින් මට කණ්ණාඩි දෙක හම්බුනා....ලස්සන රවුම් කණ්ණාඩි දෙකක්...මම ඒ දෙකට හුඟක් ආදරේ කලා...මොකද ඒක හම්බුනාම තමයි මන් දැන් ගත්තේ මේ ලෝකේ ලස්සන ගොඩක් දේවල් මට මගහැරිලා කියලා....ඇත්තට ම මම කණ්ණාඩි දෙක දාගෙන පලවෙනි දවසේ රෑ පැය ගානක් අහස දිහා බලන් හිටියා....මොකද එච්චර කල් බොඳ වෙලා දැකපු තරු එලි....බොඳ වෙලා පෙනුන හඳ හරි ලස්සනට දැක්කා මන්.....ලඟ ඉන්න කෙනාගෙන් බලන් ලියපු කලු ලෑල්ලේ අකුරු මන් තනියම ලියා ගත්තා....ඈතින් එන බස් එක මොකද්ද කියලා හිතා ගන්න බැරුව ළඟට එනකම් බලන් හිටිය මන් ඈත තියාම බස් එක අඳුර ගත්තා...ජීවිතේ මන් ගොඩක් අවිහිංසක සහ අසරණ උන තැන් වල මන් තව දුරටත් තනි නොවුනා....

ඉතින් මේ වෙද්දිත් මම ඔයාගේ හොඳ ම යාලුවා උනේ නෑ....ඒත් මන් ඔයාට...ඔයාගේ පවුලට නොසෑහෙන්න ආදරේ කලා..ඒ වෙන මොනාටවත් නෙවෙයි...ඇස් දාහක් මන් දිහා අනුකම්පා කරද්දී ඔයාලා හැමෝම මට ආදරේ දුන්නා....සෙනෙහස දුන්නා....කවදාවත් ඔයාගෙ ඇස්වල මන් මගේ නමින් ලියවුන අනුකම්පාවක් දැක්කේ නෑ...අදටත්..... 

ඉදින් කාලය හරි ලස්සනට ගෙවුනා....අපි එකට ලොකු වුනා....හොඳම යාලුවෝ උනා....ඔයාලගේ ගෙදර මට මගේ ගෙදර උනා....මන් වෙනුවෙන් පිඟානකුත් තිබ්බා....මතකද  පූස් පැටව් බෙදා ගත්තා අපි දෙන්නා.... 

"ක්‍රීමි මගේ කියුටි ඔයාගේ....." සම්බෝල පාට අයියයි මල්ලියි අපි බෙදාගත්තා......අවුරුද්දේ මුල ඔයාට පොත් ගන්න යනකොට මටත් ඔයාට ගත්ත හැමදේම අරන් දුන්නා....අක්කයි නන්ගියි වගේ එකම වගේ බෑග්...වතුර බෝතල්...කෑම පෙට්ටි අරන් ඉස්කෝලේ ගියේ..... 

"අම්මේ ටමාෂා එක්ක යන්නේ...." කියද්දී එතනින් එහා දෙයක් අම්මා ඇහුවේ නෑ...අම්මට මට වඩා ඔයා විශ්වාස උනා...ඔයාගේ පැත්තෙත් එහෙමයි....ලිමාෂා එක්ක යනවා නම් ඕනේ දිහාක.....ඉතින් ඉස්කෝලෙදි අපි දෙන්නා එකටමයි හිටියේ....මන් ටිකක් ඒ කාලේ පණ්ඩිතයිනේ ඉතින්...මතක ද ලමයි කිව්ව කතා...

"ලිමාෂාගේ අලි ඔලුව...ඒක අරගෙන යන්නේ ටමාෂා තමයි"

බැනුම් ඇහුවත් එකට ම....සුන්දර ම කාලේ අපි ගෙව්වේ ඒ විදියට..... 

ඉතින් අපි කොච්චර ලොකු මහත් උනත් ඔයාලගෙ අම්මා මට අදටත් ඒ වගේ ම ආදරෙයි.....සාමාන්‍ය පෙල කරද්දි පන්ති යන්න සල්ලි නැති වෙනකොට ටීචර්ලට කතා කරලා මට free card අරන් දුන්නා...උසස් පෙල කරද්දී අක්කගෙ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් හරහා කතා කරලා තිස්ස සර්ගෙනුත් free card ඉල්ලලා දුන්නා..... 

ඇත්තටම මන් අද මගේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියනවා නම් ඒකට අඩිතාලම දැම්මේ මගේ අම්මා වගේ ම ඔයාගෙ අම්මා...ඉතින් මාව හොඳම යාලුවා කරගෙන මට තව අම්මෙක් හොයලා දුන්නේ ඔයා......

"වචනෙකින් වත් ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවී ආදරේ ම විතරක් දීලා මට උදව් කලේ ඔයා...."

"යාලුකමට හොඳම අරුත දුන්නේ ඔයා....ඉතින් මාව කිසිදා ණය නොකර.....දෙපයින් නැගිටින්න අත දුන්නේ ඔයා....." 

ඉදින් ඔයා හරි ලස්සන තරුවක්....අද ඔයා සුන්දර ඔසීවල....මන් සුන්දර වෙල්ලස්සේ.....ඉක්මනින් ම හම්බෙමු....පරණ මතක මතක් කර කර සතුටු වෙමු......සතියකට සැරයක් ගන්න කෝල් එක අමතක කරන්නෙපා....මම ඔයාට හරි ආදරෙයි ලමයෝ....♥️


_Limasha Harini _

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි