Once in Book - Silver Chapter

 


 Article : Dehemi Samarasinghe

Image : Sayuri Wijesekara


Once in Book


                            දිගම දිග විඩාබර දවස් ගානකට පස්සේ හවස ඉර බහින වෙලාවක මේසේ උඩ තිබ්බ කියවලා ඉවර කරන්න කියලා මගේ ඔලුව උඩට පනින්න කලින්, මම හිතලාම අතට ගත්ත පොත එක්ක උඩු මහලේ ඉස්තෝපුවට උනේ ටිකක් නිදහස් වෙන්න හිතාගෙන...

නරක පුරුද්දක් උනත් පොත පෙරලන්නත් කලින්ම දුරබනුව වෙත ආව පණිවිඩ කියවලා ඉවර කරන්න හිතාගෙන අතට ගත්තත්...දැක්කේ වෙන දෙයක්....

ලගින්ම ඇසුරු කරන යෙහෙළියක් ගේ සමාජ් මාධය පෝස්ටුවක නිල් පාට මල් තියන කවරයක් සහිත පොතක් මිලදී ගත්ත කතාවක්...ඔව් ඔයා හරි...මගේ ලැජ්ජා නැති කමටයි පොත් එකතු කරන ලෝබ කමටයි ඒක මම ඇණවුම් කරන්න දෙපාරක් හිතුවේ නෑ....මූල්‍යමය දායකත්වය අයියා දරනවා කියලා කිවුවෙත් පොඩි එකෙකෙ වගේ මගේ ඒකට තිබ්බ ආසාව අයියා දැක්ක නිසාම වෙන්න ඇති....

විනාඩි ගනන්, පැය ගනන්, දවස් ගනන්, ඒක එනකන් ගෙදරින් එලියට අඩියක් වත් නොතියා මගබලන් ඉන්න තරම් මම පරිස්සම් උනා....

ඒ පොත පිටිපස්සේ.මොකද්දෝ නොදන්න මගේ ජීවිතේට සම්බන්ධ ගොඩක් දේවල් ඈදිලා තිබ්බා...ඒ ඇයි.කියලා මට හිතාගන්න විදියක් තිබුනෙත් නෑ....පුදුමයකින් වගේ ඇණවුම මගේ අතට ලැබෙද්දිත් මම දුරකථන ඇමතුමක හිටියේ, ඒකත් මගේ ජීවිතේ එක්තරා ප්‍රථමයන්ගෙන් එකක් වන්නට ගොස් මිලි තත්පර ගනනකින් එය මග ඇරුණත් අදටත් ආදරනීයයි මතකයන් මගේ ජීවිතේ ට එකතු කරන හිතවතෙක් එක්ක...පොත ලැබුන සතුට සමරන්න යටිගිරියෙන් කෑ ගැහුව එක මතක තියෙන්න කොහොමින් හරි සාක්ශියක් ඉතුරු උනා...

හොදම කොටස එතනින් පස්සෙයි...දවස් ගානක්ම මගේ ඇද ඉහත්තාවට වෙන්න ඒ පූජනීය පොතට වේලෙන්න සිද්ද උනා...උවමනාවෙන් නොකරත් මට ඒක කියෙවුවාම මගේ හිත රිදෙවි කියලා රස්තියාදුවේ යන සුළං පොදක් මිමිණුවා වගේ මතකයක් තිබ්බ....ස්ව ආරක්ෂාවට කියවීම කල් දැම්මා...මම වහා බිදෙන සුලු බව ඕනිවටත් වඩා මම දැනගෙන හිටිය නිසා....

කොහොම නමුත් දවස් කීපයකින් පරණ කියවලා ඉවර නැති පොත මගේ දිහා ඔරවගෙන බලන් හිටියත් මම අලුත් සාමාජිකටයට ඉඩ දෙන්න තීරණය කලා.....

දෙවියනේ....මම හිතුවා හරි....ඒක ඇතුලේ මම හිටියා...මේ ඇත්තමයි...එහෙන් මෙහෙන් පැහුණු කෙස් ගස් තියන, මූදු කරේ ජීවත් වෙන, නිතරම කලබලෙන් ඉන්න මිතුරියක් මටත් ඉන්නවා....වැඩිමනක්ම මොලේ විකාර වෙලා ඔත්පල වෙලා ඉන්න මට උපදෙස් දෙන ඇයයි....ඇයට සදාතනිකව තියන කලබලෙයි, නොසැලකිලිමත් කමයි ගැන උපදෙස් දෙන මමයි...ඒකේ ඉන්නවා...

ආදරේ වැඩි කමට  මග ඇරුණු කොල්ලෙක්.... ඒවිද නැද්ද කියලා නිනව්වක් නැතිව මග බලාගෙන ඉන්න,  තියන කැතම කැත පෙනුම නිසා එකම එක කොල්ලෙ වත් කැමති නැති වෙනව කියලා දන්න ගෑනු ළමයි ඒකේ ඉන්නවා...මේ ඇත්තමයි....

අපි පොතක් ඇතුලෙත් ජීවත් වෙනව...

එක හුස්මට ඉවර කරන්න ලෝබ හින්දාම ටික ටික පිටු පෙරලන්න මම වග බලාගත්තා....දවස් දෙකක් විතර අධික පීඩනයක් එක්ක ගෙවිලා ගිය නිසාම මම පොතට අත තිබ්බේ නෑ...එකක් මගෙ බය අනික ඔලුවේ තිබුණු පීඩනේ එක්ක මට ඒක විදගන්න බැරි බව මම දන්න නිසා...

පොතක් කියන්නේ පිටු ගොඩකට කියලා හංවඩු ගහනවා නම් ඒක දරුණු  සාහිත්‍යයමය අපරාධයක්...ඒවා ඇතුලේ ඉන්නේ හුස්ම ගන්න මිනිස්සු....

මේ වෙද්දිත් මගේ මිතුරියට හවසට අත් දෙක අල්ලගෙන මුහුදෙ රැලි පාගන්න යන්න, මට රොබරෝසියන් ගස් පාමුල තනිවෙන්න පෙම්වතුන් නොහිටියත් අපිදෙන්නා අපිව පරිස්සම් කර ග්න්න්න වග බලා ගන්න ගමන් හිටියේ...

ජීවිතේ බොහෝම නරක කාලෙක මට ඇයව මුණ ගැහුණු එකත් එක්තරා වාසනාවක් බව පිලිගන්න වටින දෙයක්. අවංකවම දැකලා නොතිබුණු සුන්දරම හවස්...වැහි එන දවස් වල මන්දාරම් හවස්...ගිහි ගහන නමුත් විදිය යුතු උණුසුම් දහවල් කාලයන්...මේ හැමදේකටම එකවර සාක්ශිකාරියක් වෙන්න මම ඉඩ ලැබුනේ ඇය නිසා...

තොරතෝංචියක් නැති කියවීම් එක්ක හිස් වෙන නෙස්ට් ටී කෝප්ප ගණන වැඩි වෙදීත් මම දැනගෙන නොහිටිය දේ අපිට අපි වෙනුවෙන් තිබ්බ එකගතා...ආලෝකමත්කාර සපත්තු වෙනුවෙන් පැය ලොරියක් උනත් වෙන් කන්න ඉන්න ඇගේ මෝඩ්  නමුත් අවංක ඇස් මට ජීවිතේට බලාපොරොත්තුවක් දෙන්න පුලුවන් උනා කිවුවොත් මම වැරදි නෑ...ජර්සි වර්ග කීපයකට මාරු වෙමින් ගෙවා දැමුණු අධික සීත රාත්‍රීන් වල මීදුම උවත් අපි හැඩුම් සගයන් කියලා දන්නවා වෙන්න පුලුවන්.. ඇය වෙත එන හැම ආයාචනයකටම දිය හැකි එකම පිලිතුර 'හරි මම කරලා දෙන්නම්' නොවෙන වග ටොක්කක් ඇන පැහැදිලි කර දීමේ බරපතල උවමනාවක මම පසුවිය. 

කොහොම නමුත් ඇයගේ හමුවීම මගේ ජීවිතයට ඇදහිය නොහැකි අහම්බයක් උවද එය ඇදහිය නොහැකි ආශිර්වාදයක් ද විය...පෙර දී මිතුරියන් අහිමිවීමෙන් දැඩි ලෙස රෝගාතුරව සිටි කෑලි වලට කීතු වුනු හදවතක් මල්ලක ලා එල්ලාගෙන හිටි මට විශ්වාසයේ කොළ පැහැය වූවේ ඇයයි....

තවත් අවුරුදු කිහිපයකින් මේ උද්‍යෝගී, දගකාර මිතුදම තරමක් ශේශ වීමකට භාජනය වීමේ ප්‍රවණතාවක් ඇති බව මා හොදින්ම දනිමි...ඒ වෙනුවෙන් නිශ්චිත දිනයක් නැතත් සිදුවෙමින් පවතින දෙයක් බව මා විශ්වාස කරමි....

මා ඈ සමග සිප්පිකටු ඇහිදින්න පොරොන්දු වී සිටිමි, මුහුදේ සුවද දැන ගන්නට නොඉවසිල්ලෙන් ඉදිමි, නියෝන් එලියෙන් ආලෝකමත් උන වීදී දිගේ නිනව්වක් නැතිව ඇවිය යන්නට ගිවිස ගෙන තිබේ....ඉදින් මේ ගෙවෙන තරුණ කාලය කොයිතරම් අමාරු උනත් මම එනකන්ම මා වෙනුවෙන් බලා හිදින්න...

මේ උණුසුම්, පාට තැවරුණු, කෝපි සුවද ගහන මතක අමතක වෙන්න දෙන්නේ නැතුව රකින්න මට පුලුවන් තරම් උත්සාහ ගන්න වෙනවා මොකද මේ ලියමන ලියන වෙලාවෙදිත් මතකය පිලිබඳ මොළය හා සම්බන්ධ මගේ ස්නායු මිය යමින් පවතිනවා...පරණ මතක බොහෝමයක් සහමුලින්ම මගේ මතකයේ නැති වග මට තේරුම් ගිහින් ටික දවසක්. වැඩිය නොහිතුවාට මගේ ජීවිතේ ඒ සෑම මිලි තප්පරේකටම වටිනාකමක් තියෙනවා....

මට බොරුවක් දැනුනේ නෑ කියලා මට හිතෙනවා...මොකද ඒ පොත අස්සේ සහමුලින්ම අපි ජීවත් වෙලා. අවංකවම අවසාන පිටුවට සමුදීලා දවස් දෙකක් තුනක් රිදුනු හිතේ තුවාල වේලේන බෙහෙත් ගල්වන්න මට සිද්ධඋනත් මම ඒක කලේ හිනාවෙන මූණකින්....


ඉදින් සොදුරිය, මාව අමතක කරන්න එපා.....


_ Dehemi Samarasinghe _

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි