Totto Chan - Silver Chapter
"ටෝමෝව ඉස්කොලෙ - හරි පුදුම ඉස්කොලෙ "
මේක මම තියා ගන්නද?" ටොට්ටෝ චං ටිකට් පත් එකතු කරන්නා ගෙන් විමැසුවා ය.
"බැහැ. ඔයාට ඒක තියා ගන්න බැහැ." ඔහු ටිකට් පත ගනිමින් පැවැසුවේ ය.
ටිකට් පත්වලින් පිරී තිබුණු පෙට්ටියට ඇඟිල්ල දිගු කළ ඇය, මෙසේ ඇසුවා ය. “මේ ඔක්කොම ඔයාගෙද?"
"නෑ, නෑ. ඒවා අයිති දුම්රිය ස්ථානයට " පිට වී යන්නන් ගෙන් ටිකට් පත් උදුරා ගනිමින් ඔහු කීවේය. " ඔහෝ," කෑදර කමින් පෙට්ටිය දෙස ඇස් දල්වා සිටි ඇය, මං ලොකු වුණාම ටිකට් විකුණන කෙනෙක් වෙන්න ඕනෑ " යි කියන්නට වූවාය.
ටිකට් පත් එකතු කරන්නා පළමු වරට ඇය දෙස නෙත් හෙළුවේ ය. “මගේ චූටි පුතාටත් දුම්රිය පොළේ රස්සාවක් ඕනැලු. ඔව්. ඔයාටත් එයත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්.' ඔහු කීවේය.
පුස්තකාලයේ වැඩිම පොත් කියවපු ලමයා වෙලා තෑග්ගක් ගන්න ඒ කාලෙ අපිට තිබුණු පුදුම ආසාවට පින් සිද්ද වෙන්න මං 13 පාරක් විතර ආසාවෙන්ම කියවපු, ටෙට්සුකෝ කුරොයානගී විසින් ජපන් බසින් රචිත "ටොට්ටෝ චං" හි ලීලානන්ද ගමාච්චි මහතාගේ පරිවර්තනයක් වන " හරි අපූරු ඉස්කෝලෙ" මේ පළවෙනි " පිටුව මට කටපාඩම්.
කියවන්න මාව හුරුකලේ අපේ අම්මා.මං කිව්වෙ පොත් කියවන්න.ලඟම යාලුවන්ට වදයක් වෙනකන් කියවන එක වෙනම කතාවක්. ( වරහන් ඇතුලෙ හිනාවෙන ඉමෝජියක්) ඉතින් කියන්න ගියපු එක අමතක වුනානෙ. පොත් කියවන්න හුරු කළාට විභහග කාලෙටත් මං කතා පොත් කියවන එකට අපේ අම්මා කොච්චර කැමතිද කියනවනම් පාඩම් පොතක් අස්සෙ දාගෙන හොරාට තමයි සෑහෙන්නම මේ පොතත් කියෙව්වෙ. එහෙම කියවපු මේ පොත කියවන වාරයක් ගානෙ මට දැනුනෙ හරියට ඒක මං ගැනම ලියපු කතාවක් වගේ. තොරතාංචියක් නැතුව කියවපු , හැමදෙයක්ම ගැන සෑහෙන්න කුතුහලයෙන් දකින , කිසිදෙයක් හිතේ තියාගන්නෙ නැතුව, හිතින් හිතන්න කලින් කටින් කියල ඉවර වෙන " ටොට්ටෝ චං " මගේ කුඩා කාලයට සෑහෙන්නම සමීපයි. ඒ නිසාම මං ඒ කතාවට සෑහෙන්නම ආදරෙයි.
පැරණි දුම්රිය මැදිරි කිහිපයක් පන්ති කාමර ලෙස යොදාගෙන ගොඩනැගුණු "ටෝමෝව" පාසලට යන්න හිතින් ලොබ කරපු මං වගේ හැම පාඨකයෙක්ම "අනේ මටත් එහෙම ඉස්කෝලෙකට යන්න තිබ්බ නම්..!" කියලා එක පාරක් හරි හිතලා ඇති.
ඒ වගේම මේ ලස්සනම කතාවෙ පරිච්ඡේදයක් ගානෙම ටොට්ටෝ චං ගේ ඉවරයක් නැති කතා ගොඩක් “ම්ම්” කියන්නෙවත් නැතිව, කරදරයක් විදියට නොදැක අහගෙන ඉන්න, පුංචි එවුන්ගෙ හිත් හොඳටම අඳුරන " ටෝමෝව" පාසලේ මුල් ගුරුතුමාවත් මගේ හිතේ සෑහෙන ඉඩක් ගත්තා. මට තවත් මතක හිටින සංවාදයක් තමයි “පාසලේ පා ගමන්” පරිච්ඡේදයේ උල්කාවක්ව වැටුණු තාරකාව බලන්නට කුහොන්බත්සු විහාරයේ ළිඳ බලන්නට ටොට්ටෝ චං සිය මිතුරියත් එක්ක යන අවස්ථාව. තමන් සිහින මැවූ දිලිසෙන තරුවක් වෙනුවට ගලක් වැනි යමක් දුටු ටොට්ඨෝ චං එළඹෙන නිගමනය මොකදෝ හේතුවකට මට මතකයි. " තරු දවාලට නිදා ගන්නවා ඇති. රෑට අවදිවෙලා දිලිසෙනවා ඇති." ඒකයි ඒ ළිඳට කඩන් වැටුණු තරුව දිලිසෙන්නේ නැත්තෙ.පොඩි කාලේ මාත් එහෙම හිතුවා වගේ ලාවට මතකයි.
ගෑණූ ලමයින්ට නම් සමනළ කොණ්ඩ කටු ගහලා මහා දිගයි කියලා හිතාගෙන හිටපු කොණ්ඩෙ හරි ආඩම්බරෙන් පීත්ත පටි වලින් සරසගෙන ගියපු පොල් ගස් කොණ්ඩ මෝස්තරේ නම් අමතක නැතුව ඇති. ඉතින් දවසක් ටොට්ටෝ චං තමන්ගෙ නැන්දාගෙ ලාච්චුවකින් බොහොම සුපරික්ෂාකාරීව දැකලා තමා සතු කරගත් රිබන් පටියෙන් කොණ්ඩය සරසාගෙන, තමාගෙ මුල් ගුරුතුමාට ආඩම්බරයෙන් පෙන්වන ආකාරය සහිත "කොණ්ඩා පටිය" පරිච්ඡේදයත් මට විශේෂයි. ඒ පුංචි රිබන් පටියෙනුත් සතුටු වෙන, ආඩම්බර වෙන, ඒ හිස සැරසිල්ල තමන්ගෙ මුල් ගුරුතුමාට හොඳින් පෙනෙන්නට මුල් ගුරුතුමා අසල කැරකෙන ටොට්ටෝ චං නිසා විතරක් නෙමෙයි.තමන් වටේ කැරකෙන පුංචි සිසුවියගේ සිතැඟි හඳුනාගෙන එය වර්ණනා කරන මුල් ගුරුතුමාගේ සැලකිලිමත් බව නිසයි. ඒක සවන්දෙන්නෙකුගේ වටිනාකම , කුඩා දේ පිලිබඳවත් සැලකිලිමත් වෙන,සිතැඟි හඳුනාගන්නට සමත් ගුරුවරයෙකුගේ වටිනාකම නොකියා කියන හරිම ලස්සන පරිච්ඡේදයක් විදියටයි මම දකින්නෙ.
ඒ වගේ පුංචිම අත්දැකීම් පවා මේ පොතේ කියවන වචනයක් ගානෙ හිතේ මැවෙන විදියට තමන්ගේ ජීවන අත්දැකීම් ලියන්න තරම් ටෙට්සුකෝ කුරොයානගී මහත්මියත්, ඒ හැම එකක්ම ලස්සනට පරිවර්තනය කරපු ලීලානන්ද ගමාච්චි මහත්මයගෙත් හැකියාව විස්තර කරන්න ඇත්තටම මං ලඟ වචන මදි.
" දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් "
ටොට්ටෝ චං දුටු හැම විටකම මුල් ගුරුතුමාගෙන් පිටවූ මේ වචන සැබවින්ම යහපත් දැරියක් වුනු , විශේෂයෙන්ම සිය අබාධිත මිතුරියන්ට කරුණාවන්ත වුනු, අසාධාරණයට එරෙහි වූ ටොට්ටෝ චං ව තවත් දිරිමත් කරන්නට හේතු වුනා. කතාව ආරම්භයේදී සිය හැසිරීම නිසා පාසල් කිහිපයකටම මාරුවක් ලැබුණු ටොට්ටෝ චං ව හරියටම තේරුම්ගත්තු මුල් ගුරුතුමා, සහ ටෝමෝව පාසල කොතෙක් ඇයට ඇය වෙන්නට හැකි ලෙස වෙනස් කලාද කියලා, ගලා යන කතාව පුරාම ලස්සනට දකින්න පුලුවන්.
ඊටත් වඩා හොඳම දේ දන්නවද? ඒක මං නම් කාලයක් තිස්සෙ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. මං සෑහෙන්න ආසාවෙන් හිටියා මේ පොත movie එකකින් දකින්න.
A girl at the Window - එහෙමත් නැත්නම් Totto chan ගේ Anime movie එක එනවා ලඟදීම.
ඉතින් ඒ සතුටු හිතෙන ආරංචියත් එක්කම,
අමතක කරන්න එපා. ඔයා "ඔයා" වෙන්න.ඒ වගේම පුංචිම දේත් අගය කරන්න. පුංචි පුංචි දේවල් ලොකු ලොකු වෙනස්කම් ගොඩක් කරන්න හේතු වෙයි.
ඉතින් ඔයත් කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම "හරි පුදුම ඉස්කෝලෙ" එකපාරක් හරි කියවන්න. එතකොට ඔයාටත් හිතෙයි ටොටෝ චං "ටොමෝව" පාසල ගැන කිව්ව මේ කවිය ඇත්තටම ඇත්ත කියලා.
ටෝමෝව ඉස්කොලෙ - හරි පුදුම ඉස්කොලෙ
පිටත මෙන් ඇතුළතත් - හරි පුදුම ඉස්කෝලෙ..!!! "
_සයුරි විජේසේකර_
Comments
Post a Comment