රන්දි ගෙදර අන්තිම දවස - Dandelions

 



රන්දි ගෙදර අන්තිම දවස


        හැමෝම ගෙදර ගිහින්. මං විතරයි රන්දි ගෙදරටම. වෙනදට කෑ ගහපු අපේ පහේ කල්ලියෙ උන්ගෙ සද්දයක් ආසාවටවත් නෑ.

            හැබැයි "බිනක්ශ...... නෙලූ නැන්දා..... සුදූ.... බබා...... සීයගෙ හුරතල් චූටි පුතා "

වගේ පුරුදු සද්ද වලින් නම් අඩුවක් නෑ. හැබැයි අද මට ඒවා වෙනදා වගේ කරදරකාරී හැඟීමක් ගෙනාවෙ නෑ.

උඩ ඇඳේ හැමදාම හිටපු නිසා මම දැන් අයිතිකාරයෙක් නැති යට ඇඳට මාරුවක් ගත්තා. 

පොදු දේපල අවභාවිතා කරලා බාගත්තු Film කන්දරාවෙන් Snow white and the huntsman බලන්න ගත්තා. mood නැති නිසාද මංදා මෙලෝ රහක් නෑ.

රෑටවත් දවල්ටවත් නිදාගන්න නොදී "නැගිටපං හිච්චී... කියලා වද දෙන්න "වෙන්ඩ බදුල්ලෙ මැණිකෙත්" නෑ. හැමෝගෙම අහක යන වැරදි වලට බැනුම් අහන්න "ජ්‍යෙෂ්ඨ පුරවැසියා"ත්  නෑ. ඔලුවෙ ඉඳන් පොරවන් මල් කඩන්න අවිස්සාවේල්ලේ "අතුරුදහන්"නුත් නෑ.

නිදාගෙන ඉද්දි හිනාවෙ සද්දෙට උඩ ගිහින් බිම වැටෙන්න ආසාවට අපේ උන් නෑ. 

උන්ගෙ කාමරේ හවස ඇරලා දාලා තිබ්බා වෙනදා වගේම. හැබැයි උන් නෑ. උන්ගෙ ගඳත් නෑ.

PLT උන්දැලා නම් බඩු අස් කලා හවස. උනුත් මේ වෙලාවෙ කොහෙද ගිහින්. හෙට උදේම උනුත් යයි.

බානි නම් පාරේ හිට්යා. පොඩි බලු පැටවු, පසූරිව දැක්කෙ නෑ.

මට පාලුයි. හරිම මූසලයි.හැබැයි ඒ අමුතු හැඟීමට මං කැමති ටිකක්. වෙනදට හිතන්න ඕනි වුනත් හිතන්න වෙලාවක් නැති දේවල් මං අද හිතුවා. සැරින් සැරේට නිවි හැනහිල්ලෙ ඇඬුවා. හැබැයි වෙනදා වගේ මං අඬද්දි උරහිස දෙන්න "වෙන්ඩ බදුල්ලෙ මැණිකේ" නෑ. මං දන්නවා බං උබව කියන්න අමාලි අක්කවත්, හිත හැදෙන්න ආතල් කතාවක් හරි , සීරියස් දාර්ශනික කතාවක් හරි කියන්න පහේ කල්ලියත් නෑ.

මට මතක් වුනා මං සති තුනට කැම්පස් එන්න කලින් බඩු ඔක්කොම අස් කරලා අනේ මට යන්න බෑ කියලා මගේ ඇඳේ තනියෙම වාඩි වෙලා අඬපු දවස.

තව කරකවලා අතෑරපු 2.1 study leave එකෙන් පස්සෙ ආපහු කැම්පස් යන්න බෑ කියලා මං තනියෙම අඬපු දවස.

හැබැයි කාලය තරම් නපුරු දෙයක් මං තව දන්නෙ නෑ.මේ තුන්සිය හැටපස් දවසට තිබ්බා හෙමින් තත්පර කටුවට කැරකෙන්න.

මං දන්නෙ නෑ තව අවුරුදු එකහමාරකින් මේ හැමදේම දාලා යන දවසට මං අඬන්නෙ කොහොමද කියලා.

සමහර දේවල් මට ආපහු කවදාවත්ම දකින්න බැරි වෙයි. මං ආදරේම මූනු , හිතින් හැමදාම වැඳලා යන ජයගම බුදුපිලිමෙ හැමදාටම මගෙන් ඈත් වෙයි.

සමහරවිට ආපහු කවදාවත්ම තනිකම සෑහෙන්නම දැනුනු රන්දි ගෙදර කඩතොලු පාරෙ මට යන්න බැරි වෙයි.

මහ රෑට තනියෙමවත් , අපේ උන් එක්ක රටේම උන්ට නම් දදා පිස්සු නටන්නවත්, කටුස්සන්ට මහසෝනට කූඩැල්ලන්ට බයේ මට ආපහු මේ පාරෙ යන්න දවසක් නැති වෙයි.

අඟලක් ගානේ පූස් පූස් ගගා හති දදා දුවන ගමන් ඩැන්ඩෙලයින් මල් පෙති අස්සෙ මගේ පුංචි පුංචි ආසාවල් ප්‍රාර්ථනා හුලඟට මුහු කරන්න මට බැරි වෙයි.

උඩ බලාගෙන දුවන්න ගිහින් මඩ වලවල් වල ඇදගෙන වැටෙන්න , උදේ පාන්දර සුබ දසුන් කකුලට පෑගිලා දවසම ගඳ ගහයි කියල​ බයට ඉඳලා හිටලා රන්දි ගෙදර පාරේ සිහියෙන් දුවන්න මට බැරි වෙයි.

ගමගේ අයියගෙ ක්‍රීම් බනිසෙක් ගිලලා , වංගුවෙ කඩේ ඇන්ටිගෙන් රහට බත් බාගයක් ඉල්ලන් කන්න මට බැරි වෙයි.

රොබරෝසියා වලින් වැහුනු කාලෙකට කොල්ලො කෙල්ලො යන ගමන අතරමග දාලා photo ගහපු, වෙනදාට පැත්තවත් බලන්නෙ නැති ජයගම හංදිය මට සෑහෙන්න මගහැරෙයි. 

සති තුනට ආපු කාලෙ ඉඳන්ම ජයගමටම අයිති වෙලා හිටපු මට තවදුරටත් ජයගම අයිති නැති වෙයි.

විශ්වාස කරන්න. රන්දි ගෙදර උප සංස්කෘතිය ඇතුලෙ මේ බදුල්ල අහස යට ​අපේ ජීවිත වලට ගැවුනු හැම ප්‍රාණවාචී , අප්‍රාණවාචී , අල්පප්‍රාණ ,  මහප්‍රාණ හැම එකකටම ආදේශක නම් තිබුනා. මරන බට්ටා , බෙබානිසා , චංගුමී , සබූ , ගල් ඉබ්බා , ඇතිලි , කලුකුමා,  වගේ ප්‍රාණවාචී පාරිභාෂික වචන විතරක් නෙමෙයි. බට්ටිකොලගෙ ෆිෆී jersey එක , කෘමිනාශක නොහොත් perfume , වස පැකට් නොහොත් ක්ෂනික නූඩ්ල්ස් වගේ අප්‍රාණවාචී පද වලින්ද සමන්විත තනිකරම Dictionary එකක් රන්දි ගෙදර ලමයින්ට තිබුනා. ඔබත් රන්දි ගෙදර සමීපතමයෙක් නම් සමහර විට අනිවාර්යයෙන් ඔබටම වෙන්වූ ආවේණික නමක් අපේ ශබ්ද කෝෂයේ වෙන් කරලා ඇති. ඒවා නම් මට Dandelions එක්ක article ​එකෙන් බෙදාගන්න බෑ. තව ජීවත් වෙන්න ආස නිසා.

රන්දි ගෙදර ශබ්දකෝෂය අපි ආපහු යන හැමතැනටම අරන් ගියත් ඒ ශබ්දකෝශයේ ජන්ම භූමිය අපිට මගහැරෙයි.

දැන් අලුත් පොඩි උන්ගෙ බඩු වලින් පිරුනු , කෑගහලා රන්ඩු කරලා පිස්සු නටලා පාටි දාපු අපේ රන්දි ගෙදර අපේ ජීවිතේ තවත් එක ලස්සන පරිච්ඡේදයක් විතරක් වෙයි.


හැබැයි අපි නැතුව ඒක තවදුරටත් රන්දි ගෙදර වෙන එකක් නෑ.!


_ Sayuri Wijesekara_

18.10.23

09:24PM

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි